දේශපාලනිකව ලෝකයේ ලාබාලම ජනාධිපති ගෝටාභයයි

දේශපාලනිකව ලෝකයේ ලාබාලම ජනාධිපති ගෝටාභයයි

එක්සත් ජාතික පක්ෂය දියාරු වී යෑම හේතුවෙන් මෙවර මැතිවරණයේ තරගකාරි බවක් දක්නට නොමැති බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතරදී ප්‍රකාශ කළේය.

දේශපාලන අර්ථයෙන් මෙම තත්ත්වය වාසි සහගත වුවත් ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් එය යහපත් නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් මාතර, නූපේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැලියක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.

මෙවර පැවැත්වෙන්නේ ශ්‍රි ලංකාවේ 17 වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි. මීට පෙර පැවති මැතිවරණ දහසයේම තරගකාරි බවක් තිබුණා. නමුත් මෙවර මැතිවරණයේදී ඒ තරගකාරි බව පෙනෙන්නට නැහැ. ඒ නිසාම අපේ කදවුරේ උනන්දුවද යම් මට්ටමකට අඩු වෙලා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය තුල ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමේ සිටම තිබූ දැවැන්ත අර්බුදය, මේ වන විට පුපුරා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මගේ දේශපාලනය තුල මේ කිසිදු පාර්ශවයක් විවේචනය කිරීමට කටයුතු කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුල කිසිදු පාර්ශවයකට හෝ පුද්ගලයෙකුට ඇගිල්ල දිගු කළේ නැහැ. ඔහු ඉතිහාසයේ වැරදි පිලිබදව කතා කළේත් නැහැ. අපි ගෝඨාභය රාජපක්ෂ දැක්ම තුල කටයුතු කල යුතුයි.

ලෝක සෞඛ්‍යය සංවිධානය කොරෝනා දෙවන රැල්ලක් ගැන කතා කලත්, කොරෝනා වසංගත තත්ත්වය තුල අපේ රට සුරක්ෂිත බව මම විශ්වාස කරනවා. දේශපාලන ධූර අත් දැකීමෙන් ලෝකයේ ලාබාලතම ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කොරෝනා මර්දන වැඩ පිළිවෙල අතිවිශිෂ්ඨයි. කොරෝනා මර්දන සටනේදී එතුමා සියළු රාජ්‍ය නායකයින්ට වඩා වැඩිමහල් බව පෙන්නුම් කළා. ඒ අනුව බලද්දී මේ තරම් පරිනත නායකයෙක් යුරෝපයේවත් නැහැ.

කොරෝනා වසංගතය අපේ රටට කඩා වැටුණේ අනපේක්ෂිත ආකාරයෙන්. ස්ථාවර වත්කම් නැති රටකට ඒ තත්ත්වට දරා ගන්න අමාරුයි. යහපාලන වෛරසයෙන් කඩා වැටුණ රටටයි, මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදු වුණේ. එය හරියට ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න වගෙයි. මේ තත්ත්වයට මුහුණ දීම සදහා ආනයනය කරන බොහෝ දේවල් නතර කරන්න අපේ රජය පියවර ගෙන තිබෙනවා. ඒ හරහා ගොඩනැගෙන නිශ්පාදන ආර්ථිකය තුල ශ්‍රී ලංකාවේ රැදෙන මුදල් ප්‍රමාණය අති විශාලයි. දේශීය ව්‍යාපාරිකයින්ට බැංකු සහන, පොලී සහන ලබා දෙමින් සිදු කරන්නේ ඒ ආර්ථික පුනර්ජනනීය කටයුත්තයි.

පසුගිය යහපාලන ආණ්ඩුව අපේ රටේ තිබුණ දුර්වලම ආණ්ඩුව බව රටේ බහුතර ජනතාව පිළිගන්නවා. මහ බැංකුවේ සංඛ්‍යා ලේඛණ වලින්ම මේ බව තහවුරු වෙනවා. යහපාලන රජය හේතුවෙන් ඇති වූ ආර්ථික අර්බුදය, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රටට පේන්නේ නැහැ. යහපාලන රජය රටට කල විනාශය කොවිඩ් කඩතුරාවෙන් වැහිල ගියා.

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පාසැල් දරුවන් බේරාගත් ලොව එකම රට ශ්‍රී ලංකාවයි. අපි නිවාඩු කාලේ දරුවන්ට පොතක් ලියන්න කිව්වා. මධ්‍යම පළාතේ පමණක් පොත් 5000 කට වඩා ලියල තිබෙනවා. එක දිගට ඇදිරි නීතිය තිබෙද්දි අපි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කළා. ලක්ෂ 43 ක් වන සියළු පාසැල් දරු දැරියන් මගේ දුවල පුතාල ලෙස සලකමිනුයි, මම අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ තීන්දු තීරණ ගන්නේ යනුවෙන්ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂකවරුන් වන කංචන විජේසේකර සහ සරත් ද අල්විස් යන මහත්වරුන්ද මෙහිදී කතා කලහ.

– ජයකාන්ත ලියනගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *