ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අතර HIV ආසාදිතයන් ඉහළ යයි

මෙම වසරේ මුල් මාස නවය තුළ වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ ප්‍රජාව අතරින් නව HIV ආසාදිතයන් 88ක් වාර්තා වී තිබේ.

The Morning

තත්පර 60කින්

  • මෙම වසරේ මුල් මාස නවය තුළ වයස 15-24 අතර නව HIV ආසාදිතයන් 88ක් වාර්තා විය.
  • ඉන් ආසාදිතයන් 78 දෙනකුම වයස අවුරුදු 20ත් 24ත් අතර තරුණ තරුණියන් වේ.
  • 1987 සිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත HIV ආසාදිතයන් සංඛ්‍යාව 8,111 කි.

ශ්‍රී ලංකාව තුළ තරුණ පරම්පරාව අතර HIV ආසාදිතයන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී එම වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මාධවී ගුණරත්න මේ බව අනාවරණය කළාය.

ඒ අනුව මේ වසරේ මුල් කාතු තුන තුළ පමණක් වයස අවුරුදු 15ත් 24ත් අතර පසුවන්නන්ගෙන් නව HIV ආසාදිතයන් 88 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් වැඩිම පිරිසක් එනම් ආසාදිතයන් 78 දෙනෙකුම වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 20ත් 24ත් අතර වයස් කාණ්ඩයෙනි.

මෙම වසරේ තෙවැනි කාතුව අවසන් වන විට මෙරටින් සමස්ත නව HIV ආසාදිතයන් 708ක් වාර්තා වී ඇති බව වැඩසටහන පෙන්වා දෙයි. 1987 වසරේදී මෙරටින් පළමු HIV ආසාදිතයා වාර්තා වූ දා සිට මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8,111ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලිංගාශ්‍රිත රෝග මැඩලීම සහ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන දිවයින පුරා පරීක්ෂණ සහ උපදේශන සේවා ක්‍රියාත්මක කරයි.

මූලාශ්‍ර

මෙම ලිපිය පහත ආයතනවල වාර්තා මත පදනම්ව නිව්ස්ලංකා කර්තෘ මණ්ඩලය විසින් නැවත ලියන ලදී.

  • The Morning
ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අතර HIV ආසාදිතයන් ඉහළ යයි | නිව්ස්ලංකා