ජාත්‍යන්තර පිරිමි දිනය අදයි: ශ්‍රී ලංකාවේ පිරිමි ජනගහනය ගැන විශේෂ දත්ත කිහිපයක්
ජාත්‍යන්තර පිරිමි දිනය අද (19) සමරනු ලබන අතර, 2024 සංගණන දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ පිරිමි ජනගහනය මිලියන 10.5 ඉක්මවා ඇත.
තත්පර 60කින්
- ශ්‍රී ලංකාවේ පිරිමි ජනගහනය 10,512,344ක් වන අතර එය මුළු ජනගහනයෙන් 48.3 කි.
- 2024 සංගණනයට අනුව දිස්ත්‍රික්ක 25ම කාන්තාවන් පිරිමින්ට වඩා සංඛ්‍යාවෙන් ඉදිරියෙන් සිටී.
- 2024 වසරේ වාර්තා වූ සියදිවි නසාගැනීම් වලින් සියයට 81කට ආසන්න ප්‍රමාණයක් පිරිමින්ය.
පවුල් සහ සමාජයට පිරිමින්ගෙන් සහ පිරිමි දරුවන්ගෙන් ඉටුවන මෙහෙවර අගයමින් සහ ඔවුන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින් අදට යෙදී ඇති ජාත්‍යන්තර පිරිමි දිනය ලොව පුරා සමරනු ලබයි. මේ වසරේ තේමාව වී ඇත්තේ සැමට පොදු අනාගතයක් යන්නයි. විවිධ රටවල් විසින් මෙම දිනය සමරනු ලැබුවද, එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල ජාත්‍යන්තර දිනයක් ලෙස තවමත් නම් කර නොමැත. මීට වසර ගණනාවකට පෙර ඩොක්ටර් ජෙරොම් ටීලුක්සිං විසින් ආරම්භ කරන ලද මෙම දිනය නොවැම්බර් 19 වන දිනට යෙදී ඇත්තේ ඔහුගේ පියාගේ උපන් දිනය සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ පාපන්දු කණ්ඩායම ජාතිය එක්සත් කළ දිනය සිහිපත් කරමිනි.
මෙම අවස්ථාවට සමඟාමීව ශ්‍රී ලංකාවේ පිරිමි ජනගහනය පිළිබඳ වැදගත් සංඛ්‍යාලේඛන කිහිපයක් ද අනාවරණය වී තිබේ. 2024 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු සංගණනයට අනුව, ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 10,512,344 ක් හෙවත් සියයට 48.3ක් පිරිමින් වේ. රටේ මුළු ජනගහනය මිලියන 21.7ක් පමණ වන අතර, කාන්තා ජනගහනය 11,269,456ක් ලෙස වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් සංඛ්‍යාව පිරිමින්ට වඩා 757,112කින් වැඩි වන අතර, දිස්ත්‍රික්ක 25ම කාන්තා ජනගහනය පිරිමි ජනගහනය ඉක්මවා යෑම විශේෂත්වයකි.
මෙම දත්තයන්ට අමතරව පිරිමින්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳවද බරපතළ සංඛ්‍යාලේඛන වාර්තා වී ඇත. පොලිස් වාර්තා වලට අනුව 2024 වසරේ වාර්තා වූ සමස්ත සියදිවි නසාගැනීම් 3,285න් 2,664ක්ම පිරිමින් වීම කණගාටුදායක තත්ත්වයකි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 81කි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙන්නේ ලංකාවේ පිරිමි සියදිවි නසාගැනීමේ අනුපාතය කාන්තා අනුපාතයට වඩා පස් ගුණයකටත් වඩා වැඩි බවයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පිරිමින්ගේ මානසික සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය පුළුල් කිරීමේ වැදගත්කම විශේෂඥයෝ පෙන්වා දෙති.
මූලාශ්‍ර
මෙම ලිපිය පහත ආයතනවල වාර්තා මත පදනම්ව නිව්ස්ලංකා කර්තෘ මණ්ඩලය විසින් නැවත ලියන ලදී.
- Newswire

