තංතිරිමලේ අලි ගැටුමට ස්ථිරසාර විසඳුම් ලබාදීමට කඩිනම් පියවර

තංතිරිමලේ ප්‍රදේශයේ වනඅලි උවදුරට විසඳුම් සෙවීම සඳහා නව අලි පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීමට සහ මුරපොළවල් ඉදි කිරීමට තීරණය කර ඇත.

ITN News

තත්පර 60කින්

  • තංතිරිමලේ ප්‍රදේශයේ වනඅලි ගැටුමට විසඳුම් සෙවීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
  • නව අලි පාලන මධ්‍යස්ථානයක් සහ ආරක්ෂක මුරපොළ කිහිපයක් පිහිටුවීමට තීරණය කර ඇත.
  • අලි තර්ජන පවතින ප්‍රදේශවල සූර්ය බලශක්ති ආලෝක පද්ධති සවි කිරීමට නියමිතය.

තංතිරිමලේ සහ ඒ අවට ප්‍රදේශවල පවතින උග්‍ර වනඅලි මිනිස් ගැටුමට විද්‍යාත්මක හා කඩිනම් විසඳුම් ලබා දීමේ විශේෂ සාකච්ඡාවක් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (14) තංතිරිමලේදී පැවැත්වුණා. වනඅලි තර්ජනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරමින් මෙම ගැටලුව ස්ථිරසාරව විසඳීම රජයේ අපේක්ෂාවයි. මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වනජීවී නිලධාරීන් මෙන්ම ගොවි සහ මරණාධාර සමිති නායකයින්ද සහභාගී වී සිටියා. ජනතා යෝජනා සැලකිල්ලට ගනිමින් ප්‍රදේශයේ ගැවසෙන වනඅලින් විල්පත්තු ජාතික වනෝද්‍යානය වෙත යොමු කිරීමටත්, තංතිරිමලේ ප්‍රදේශය තුළම නව අලි පාලන ඒකකයක් ස්ථාපිත කර හදිසි මැදිහත්වීම් ශක්තිමත් කිරීමටත් මෙහිදී සාකච්ඡා කෙරුණා. තංතිරිමලේ විද්‍යාලය අසල විශේෂ ආරක්ෂක මුර කපොල්ලක් මෙන්ම රෝහල අසල රාත්‍රී මුර කපොල්ලක් සහ ඇහැටුගල අසල දිවා-රාත්‍රී මුර කපොල්ලක් පිහිටුවීමට නියමිතයි. වනඅලි බහුල මාර්ගවල සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන විදුලි බල්බ සවි කිරීමටත්, ඒ සඳහා වනජීවී අරමුදලින් ප්‍රතිපාදන ලබා දීමටත් කටයුතු යොදා තිබෙනවා. මිනිස් ජීවිත හා වගා හානි අවම කිරීම රජයේ ප්‍රමුඛතාවක් බවත්, ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් මෙම ගැටලුව විසඳීමට කැපවී සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

මූලාශ්‍ර

මෙම ලිපිය පහත ආයතනවල වාර්තා මත පදනම්ව නිව්ස්ලංකා කර්තෘ මණ්ඩලය විසින් නැවත ලියන ලදී.

  • ITN News
තංතිරිමලේ අලි ගැටුමට ස්ථිරසාර විසඳුම් - නව මධ්‍යස්ථානයක් | නිව්ස්ලංකා