පුත්තලම නගරාධිපතිගෙන් පහර කෑ තරුණයා රෝහලේදී අත්අඩංගුවට
පුත්තලම නගරාධිපතිවරයාගෙන් පහරකෑමට ලක්වූ බව කියන තරුණයෙකු රෝහල්ගත කිරීමෙන් පසු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
තත්පර 60කින්
- සිද්ධිය සිදුවූයේ ඊයේ (27) පස්වරුවේ පුත්තලම කොළඹ මාර්ගයේ තිල්අඩිය ප්‍රදේශයේදීය.
- පහරකෑමට ලක්වූයේ උදාර පුෂ්පික නමැති 29 හැවිරිදි පළතුරු අළෙවි කරන්නෙකි.
- නගරාධිපති ඉම්ෂාන් අහමඩ් මහතාගේ පැමිණිල්ලකට අනුව තරුණයා රෝහලේදීම අත්අඩංගුවට ගැනුණි.
මෙම පුවත වර්ධනය වූ ආකාරය
ඔබ කියවන්නේ පුත්තලම නගරාධිපතිගෙන් පහර කෑ තරුණයා රෝහලේදී අත්අඩංගුවට
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී නගරාධිපතිවරයාගෙන් පහරකෑමට ලක්වූ බව කියන 29 හැවිරිදි තරුණයෙක් මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. උදාර පුෂ්පික නමැති මෙම තරුණයා තිල්අඩිය ප්‍රදේශයේ පළතුරු අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇත.
පසුගිය දිනක නගර සභා නිලධාරීන් විසින් එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට ඔහුට දැනුම් දී තිබුණි. ඒ අනුව තාවකාලික වෙළඳසැල ඉවත් කරගත් ඔහු, මාර්ගය අයිනේ මේසයක් තබාගෙන පළතුරු අලෙවි කරමින් සිටියදී ඊයේ (27) පස්වරුවේ නගරාධිපතිවරයා එහි පැමිණ ඇත.
එම මේසයද වහාම ඉවත් කරගන්නා ලෙස නගරාධිපතිවරයා එහිදී දන්වා ඇති අතර, අසල සිටින අනෙක් වෙළෙන්දන් ඉවත් නොකරන්නේ මන්දැයි තරුණයා විමසීමේදී කැබ් රථය තුළ සිටි නගරාධිපතිවරයා තමාට පහර දුන් බව ඔහු පවසයි.
පහරකෑමෙන් පසු තරුණයා විසින් නගරාධිපතිවරයා පැමිණි වාහනයට ගල්ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. තම නිල රථයට ප්‍රහාරයක් එල්ල වූ බවට පුත්තලම නගරාධිපති ඉම්ෂාන් අහමඩ් මහතා පොලීසියට පැමිණිලි කර ඇත.
අදාළ පැමිණිල්ල මත ක්‍රියාත්මක වූ පුත්තලම පොලීසිය, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මූලාශ්‍ර
මෙම ලිපිය පහත ආයතනවල වාර්තා මත පදනම්ව නිව්ස්ලංකා කර්තෘ මණ්ඩලය විසින් නැවත ලියන ලදී.
- Dasatha Lanka News
- Lanka C News



